අඩුපාඩු මගහරවා පේරාදෙනිය පාරේ වන්වේ නැවත ක්‍රියාත්මක කරනවා

Print

මහනුවර සිරිමාවෝ බණ්ඩාරනායක මාවතේ සහ විලියම් ගොපල්ලව මාවතේ එක් පැත්තකට පමණක් රථ ධාවන සැලැස්ම ක්‍රියාත්මක කරන බව මහනුවර මහ නගර සභාවේ ඉකුත් 28 වැනි සදුදා පැවැත්වුණු මාසික සභා රැස්වීමේදී නගරාධිපති සේන දිසානායක මහතා පැවසීය.
 ව්‍යාපාරික පිරිසක් ඉදිරිපත් කළ විරෝධතාවකට ප්‍රතිචාරය දැක්වීමක් වශයෙන් අලූත් අවුරුදු උත්සව සමයේ එක් පැත්තකට රථ ධාවනය තාවකාලික වශයෙන් අත්හිටවු නමුත් දින කීපයකදී ලබා ගත් අත්දැකීම් අනුව අඩුපාඩුවලට පිළියම් ක්‍රියාත්මක කරන බව පුරපති සේන දිසානායක මහතා පැවසීය.
 මාසික සභා රැස්වීම පුරපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව නගර සභා ශාලාවේදී පැවැත්විණ.

පේරාදෙනිය ගැටඹේ සහ මහනුවර අතර දින කීපයක් ක්‍රියාත්මකවු එක් පැත්තකට රථ ධාවනය සම්බන්දයෙන් මන්ත්‍රීවරුන්ගේ ගුණ දොස් රැසක් රැස්වීමේදී ප්‍රකාශ විය.

මෙවර මහ නගර සභා රැස්වීමේදී අභාවයන් පිළිබඳ ශෝක ප්‍රකාශයන්ගෙන්ද නව පත්වීම් පිළිබඳ සුභ පැතුම්වලින්ද අඩුවක් නොවීය.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අතිපුජ්‍ය ගලාගම ශ්‍රී අත්තධස්සි මහානායක ස්වාමීන්වහන්සේගේ අපවත්වීමත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර පදවිය දරමින් සිටියදී අභාවප්‍රාප්තවු සුරංගනී එල්ලාවල මහත්මියගේ සහ කලක් මහනුවර නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මහින්ද ජයවර්ධන මහතාගේ අභාවයන් පිළිබඳ ශෝක ප්‍රකාශ පළ විය.
 මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය ලෙස නිලූකා ඒකනායක මහත්මිය පත්වීම සහ මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරියක ලෙස ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය දිවුරුම් දීම සම්බන්දයෙන් සුභ පැතුම් පළවිය.
 

රාජා පුෂ්පකුමාර මහතා (එ.ජා.ප)

අපවත්වු අස්ගිරි පාර්ශවයේ අතිපුජ්‍ය මහනායක ගලාගම ශ්‍රී අත්ථධස්සි ස්වාමීන්වහන්සේ පිළිබඳව ශෝක ප්‍රකාශයක් කරමින් උන්වහන්සේ ග්‍රාමීය ප්‍රදේශවල පන්සල් සංවර්ධනය කිරීමට සහ ගම්බද ප්‍රදේශවල සංඝයාවහන්සේට නොමදව අධාරදීමට පියවරගත් බව පැවසීය. මහියංගන රාජ මහා විහාරාධීපතීන් වහන්සේ වශයෙන් එම ෙඵෙතිහාසික රජ මහා විහාරය අලංකාරවත් ලෙස භක්තිය වර්ධනය කරන ආකරයෙන් දියුණු කළ බවද රාජා පුෂ්පකුමාර මහතා කීවේය.

මහානායක හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පුජෝත්සවය රාජ්‍ය ගෞරව සහිත සිදු කිරීමේදී ආදාහන පුජෝත්සවය ඉතාම සුදුසු ආකාරයෙන් හා ගෞරවනීය ලෙස සිදු කිරීමේදී මහනුවර මහ නගර සභාව විශාල දායකත්වයක් දරන ලද බව පැවසු පුෂ්පකුමාර මහතා ඒ සඳහා නගරාධිපති සේන දිසානායක මහතා ප්‍රමුඛ නාගරික මන්ත්‍රීවරු, නාගරික කොමසාරිස් චන්දන තෙණ්නකොන් මහතා ප්‍රධාන නිලධාරින් හා සේවක පිරිස් කැපවුණු බවද පැවසීය.

මධ්‍යම පළාතේ හිටපු ආණ්ඩුකාර සුරංගනී ඵල්ලාවල මහත්මිය ඉතා කෙටි කාලයක් වුවද පදවිය දරමින් පළාතට මහගු සේවයක් ඉටු කළ බව රාජා පුෂ්පකුමාර මහතා ආණ්ඩුකාරවරියගේ වියෝව පිළිබඳව ශෝකය පළ කළේය.

ඵල්ලාවල මහත්මියගේ ආභාවයෙන් හිස්වු නව ආණ්ඩුකාර පදවියට පත්වු නිලූකා ඒකනායක මහත්මියට සුභ පතමින් එකනායක මහත්මිය ලේක් හවුස් ආයතනයේ සුභ සෙත පුවත් පතේ උපදේශක කර්තෘවරියක් ලෙස කටයුතු කළ බවද පැවසීය. 

දේශපාලන කටයුතු මෙන්ම සමහර තත්වයන් පිළිබඳ නව ආණ්ඩුකාරවරිය හසල දැනුමක් තිඛෙන බවද හෙතෙම පැවසීය.

කෙසේ වුවත් මහනුවර නගරයේ ක්‍රියාත්මක වෙමින් පවතින අප ජල ව්‍යාපෘතියේ කටයුතු සම්බන්දයෙන් සිදුවන වරදක්ද පුෂ්පකුමාර මහතා විසින් පෙන්වා දෙන ලදි.

අප ජල ව්‍යාපෘතිය සඳහා කැනීම් සිදු කිරීමේදි අවට පදිංචිකරුවන්ට කල් තබා දැනුම් දීමකින් තොරව පාරවල් කැනීමේදී පදිංචිකරුවන්ට දුෂ්කරතා ඇතිවන බව හෙතෙම පෙන්වා දුනි.

නගරාධිපති සේන දිසානායක මහතා(එ.ජ.නි.ස)

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැපතුම්පොල සංවර්ධනය කිරීම ලෝක බැංකු ආධාර යටතේ සිදු කෙරෙන නගර සංවර්ධන වැඩ සටහන යටතේ ඉතා උසස් අන්දමින් සංවර්ධනය කරනවා.
 

විපක‍ෂනායක සුමින්ද වික්‍රමසිංහ මහතා (එ.ජා.ප)

නාගස්තැන්න ප්‍රදේශයේ ගෙස්ට් හවුස් නවාතැන් පොලකට ජලය සැපයීමේදී අය කරනු ලබන්නේ ගෘහස්ත ගාස්තු බව දැන ගන්නට තිඛෙන බව පැවසීය.

ඇලක් පුරවා තට්ටු හයක ගොඩනැගිල්ලක් ඉදි කිරීමට අවසර දී තිඛෙන බවද පැවසු සුමින්ද වික්‍රමසිංහ මහතා නීතිය දෙවිදිහකට ක්‍රියාත්මක වීම සුදුසු නොවන බව පැවසීය.

නීතිය එකක් විය යුතුයි. මෝරුන්ට එක නීතියකුත් හාල් මැස්සන්ට තවත් නීතියකුත් ක්‍රියාත්මක කිරීම සුදුසු නැහැ.

තවදුරටත් අදහස් දක්වමින් විපක‍ෂනායක කියා සිටියේ පේරාදෙනිය පාරේ එක් පැත්තකට රථ ධාවනය කිරීමෙන් ව්‍යාපාරික ප්‍රජාවට විශාල පාඩුවක් සිදුවී තිඛෙනවා.

මහනුවර නගරයේ නිවාස හා ගොඩනැගිලිවලින් 80% වැසිකිලි අපද්‍රව්‍ය මැද ඇලට ගලා බසිනවා. මැද ඇල දෙපස පදිංචිකරුවන්ට රෝග පීඩා මේ නිසා ඇති වෙනවා.

අස්ගිරි පාර්ශවයේ අතිපුජ්‍ය මහා නායක හිමියන්ගේ සහ හිටපු ආණ්ඩුකාරවරියගේ මෙන්ම හිටපු මන්ත්‍රී නන්ද ජයවර්ධන මහතාගේද අභාවයන් පිළිබඳ වික්‍රමසිංහ මහතා ශෝකය පළ කළේය.

මන්ත්‍රීවරුන් කීප දෙනෙකුම විසින් මහනුවර වැවේ අපිරිසිදු තත්වය සම්බන්දයෙන් කරුණු ඉදිරිපත් කරන ලදි.

නගරාධිපති සේන දිසානායක මහතා

වැව රවුමේ පදික වේදිකාවන් අපිරිසිදුයි. එය සෝදා පිරිසිදු කිරීමට වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වගකීමක්.

ආනන්ද සනත් කුමාර මහතා (එ.ජ.නි.ස)

කටුගස්තොට සියඹලාගස්තැන්න හන්දිය අසළ අනවසර ඉදිකිරීමක් සිදු වෙමින් පවතිනවා. සොයා බැලිය යුතුයි.
පේරාදෙනිය පාරේ එක් දිශාවකට රථ ධාවන සැලැස්ම බොහෝ දුරට සාර්ථකයි. නමුත් පේරාදෙනිය පාර සහ විලියම් ගොපල්ලව මාවත දෙපස ගම්බද ප්‍රදේශවල ජනතාවට අපහසුතා ඇතිවුණා.

 

නගරාධිපති සේන දිසානායක මහතා

එක් පැත්තකට ධාවන සැලැස්ම දැන් තාවකාලිකව අත් හිටුවා තිඛෙනවා. ධාවන සැලැස්මෙන් ජනතාවට අපහසුකම් ඇති නොවන පරිදි සංශෝධන සහිතව එක් දිශාවකට ධාවන සැලැස්ම නැවත ක්‍රියාත්මක කරනවා.
 තී්‍රරෝධ රථ හිමියන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බවට තොරතුරු ලැබුණා.

ආනන්ද සනත් කුමාර මහතා

කුලියාපිටියේ දරුවා ඇතුලත් කර ගැනීමට කටයුතු කළ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ප්‍රශංසා කරනවා. කුලියා පිටියේදී විසදීමට තිබුණු ගැටලූවක් විශාල ප්‍රශ්නයක් බවට පත් කිරීමක් සිදුවුණා.
 

ආනන්ද සිරිවර්ධන මහතා (එ.ජා.ප)

එක් දිශාවකට රථ ධාවන සැලැස්ම ක්‍රියාත්මකවීමෙන් ඇතිවු යහපත සහ අඩුපාඩු ගැන සඳහන් කළේය.
 අවහිරතාව පිටු දැකීම සඳහා අවශ්‍ය ස්ථාන නැවත පාලම් ඉදි කිරීම කඩිනම් කළ යුතු බව පැවසු සිරිවර්ධන මහතා අතුරු මාර්ග පුලූල් කිරීමේ කටයුතු කඩිනම් කර රථ ධාවන සැලැස්ම ක්‍රියාත්මක කළ යුතු බව පැවසීය.
 අස්ගිරි මහ නායක ස්වාමීන්වහන්සේගේ මෙන්ම ආණ්ඩුකාරවරියගේත් මහින්ද ජයවර්ධන මහතාගේත් අභාවයන් සම්බන්දයෙන් ආනන්ද සිරිවර්ධන මහතා ශෝකය පළ කළේය.

 

සරත් විජේසිංහ මහතා (එ.ජ.නි.ස)

කුඩා රත්වත්ත මාවතේ උස් බිම්වල ගස් කොලන් හිතුමතේ කැපීමෙන් බැවුම් ප්‍රදේශවල පදිංචිකරුවන්ට මහත් දුෂ්කරතාවක් ඇතිවී තිඛෙනවා. ඉතාමත් අනතුරුදායක තත්වයක් ඇතිවී තිඛෙනවා. පුද්ගලික ඉඩම්වල වුවත් මේ ආකාරයට ගස් කොලන් කපා දැමීමෙන් සිදුවන අනතුරු සම්බන්දයෙන් පුද්ගලයන් දැනුවත් කිරීමට අවශ්‍යයි.
 නගර සභාවට අයත් පාරක් අල්ලා ගත් පුද්ගලයෙක් ගේට්ටුවක් ඉදිකර ඉබ්ඛෙකුත් දමාගෙන සිටිනවා. මේ ගැන සොයා බලා පියවර ගත යුතුයි. ජෝර්ජ්.ඊ.ද සිල්වා මාවතේ පාරට අයත් ඉඩම් අල්ලා ඇතැම් පුද්ගලයන් බැමි බැද ගෙන සිටිනවා. මේවාට ඉඩදිය යුතු නැහැ. මෙවැනි සිදුවීම්වලදි පොඩි මිනිස්සුන්ට නඩු. බල පුලූවන්කාරයන්ට අවහිරයක් නැහැ.

නගරාධිපති සේන දිසානායක මහතා

නගර සභාව සංවිධානය කරන පොදු කටයුතුවලට මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය අඩුයි. ඇතැම් මන්ත්‍රීවරුන් මාසික සභා රැස්වීම්වලට පමණයි සහභාගි වෙන්නේ.

ඉලාහි ආබ්දීන් මහතා (එ.ජා.ප)

පේරාදෙනිය පාරේ එක් දිශාවකට රථ ධාවන සැලැස්මට ව්‍යාපාරික ප්‍රජාවගේ සංවිධානයක් විරුද්ධත්වය පළකර තිබුණා. නමුත් ව්‍යාපාරිකයන්ගේ වාසිය පමණක් සලකා කටයුතු කරන්න බැහැ. මහනුවරට පැමිණෙන මහ ජනතාවගේ පහසුව ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම අවශ්‍යයි. මහනුවර ජනතාව පැමිණෙන්නේ ව්‍යපාරික ප්‍රජාව නිසා නොව දළදා මාළිගාව කේන්ද්‍ර කරගෙනයි. මහනුවර නගරයට කීර්තියක් ලබා දෙන්නේ වෙළඳ ව්‍යාපාරිකයන් නිසා නොව දළදා මාළිගාව නිසායි.
 දළදා මාළිගාව ළග පාර විවෘත්ත කරන්නට කියා උද්ඝෝෂණයක් කරන මිනිසුන්ට පේරාදෙනිය පාරේ පවතින වාහන තදබදයෙන් ඇතිවන වායු දුෂණය ගැන කතා කරන්නට නොහැකි මන්ද? ඒ වායු දූෂණය දකින්නේ නැත්ද?
 මේ රථ ධාවන සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ නගරයේ අනාගත සුබ සිද්ධිය සදහායි. එක් පැත්තකට රථ ධාවන සැලැස්ම ක්‍රියාත්මකවු දින කීපයේදී ත්‍රීරෝද රථ රියැදුරත් වැඩිපුර අය කර අවස්ථාවෙන් ප්‍රයෝජන ලබා ගත්තා.

නගරාධිපති සේන දිසානායක මහතා

රථ ධාවන සැලැස්ම දින කීපයක අත්හදා බැලීමක්. අඩුපාඩු දුරුකර නැවත ක්‍රියාත්මක කරනවා.
 කෙසේ වුවත් නාගරික මන්ත්‍රී අස්මින් මරික්කාර් මහතා පේරාදෙනිය පාරේ එක් පැත්තකට රථ ධාවන සැලැස්ම පිළිබඳ දරන්නේ වෙනත් මතයකි. මරික්කාර් මහතා පේරාදෙනිය පාරේ පදිංචිකරුවෙකි.

අස්මින් මරික්කාර් මහතා (මු.කො.)

රථ ධාවන සැලැස්මෙන් ව්‍යාපාරික ප්‍රජාවට පමණක් නොව මහජනතාවත් අපහසුතාවයට පත්වෙනවා. අතුරු මාර්ග ඉදිකිරීමෙන් සහ වැඩි දියුණු කිරීමෙන් තොරව එක් පැත්තකට රථ ධාවනය කිරීම සුදුසු නැහැ. අවහිරකම් ඇති වෙනවා. මහනුවර විශාල වශයෙන් ව්‍යාපාරික ප්‍රජාව සිටිනවා. මහජනතාවට වගේම ව්‍යාපාරික ප්‍රජාවටත් දුෂ්කරතා ඇති වෙනවා. මහනුවරට ජනතාව බහුලව පැමිණෙන්නේ භාණ්ඩ මිලට ගැනීමටයි. ව්‍යාපාරිකයන් නිසා විශාල පිරිසක් එනවා. 80% ජනතාව නුවරට එන්නේ ව්‍යාපාරික ප්‍රජාව නිසයි. ව්‍යාපාරික ප්‍රජාවටත් මහ ජනතාවටත් අපහසුතා ඇති නොවන පරිදි රථ ධාවන සැලැස්මක් ක්‍රියාත්මක විය යුතුයි.
 මේ අතර මහනුවර වැවේ අපිරිසිදුතාව දැන් ඉහළ යමින් පවතින බව මන්ත්‍රීවරුන් කීප දෙනෙකු විසින්ම රැස්වීමේදී පෙන්වා දෙන ලදි.
 අපිරිසිදුවීමට හේතු සොයා බලා අවශ්‍ය පියවර ගත යුතු බව රැස්වීමේදී අවධානයට ලක් කරන ලදි.

 
 
 
 
 
Saturday 25th of March 2017. Joomla Templates Free. The Kandy News Online Edition - CMS Implementation: Webvision Sri Lanka.